සුළු අවි මිනිසුන් මරා හෙළති

අතුරුදහන්(කර)වීම්  -   (මෙම ලිපිය උපුටාගැනීමකි)

අතුරුදහන්වීම අතින් ලෝකයේ 2වන ස්ථානයට ලංකාව දැන් පැමිණ තිබෙනවා. ලංකාව ගැන සඳහන් කරනකොට අතුරුදහන්වීම් ගැන ජාතික වශයෙන් වැඩියෙන්ම අවධානයට යොමු වූයේ 1989-1992 යුගයයි. ඒ පිළිබඳව විශාල සාකච්ඡාවක් සහ ප්‍රබල ජන මතයක් විශේෂයෙන් දක්‍රෙණ් ගොඩනැඟීමේ කටයුත්තේ පෙරමුණේ රාළ වුණේ මහින්ද රාජපක්ෂයි. ඔහුගේ මූලිකත්වයෙන් වික්‍රමබාහු, වාසුදේව, මංගල සමරවීරලාත් සමඟ කොළඹ සිට කතරගම දක්වා දවස් 19 ක පාද යාත්‍රා සමඟ විවිධ ක්‍රියාකාරකම්, මැදිහත්වීම් සංවිධානය කෙරුණා. ඒ කාලයේ මළමිනී ප්‍රදර්ශනය තුළ ඇතිකළ පිළිකුළත් සමාජ මතයක් ගොඩනඟන්න දායක වුණා. අවුරුදු 17 ක් බලයේ සිටි ආණ්ඩුව ඊළඟ මැතිවරණයේදී පරාජය කරන්න මේ මැදිහත්වීම් එක් ප්‍රධාන සාධකයක් වුණා.
අතුරුදහන් කරවීම්වලට එරෙහිව එලෙස ගොඩනැඟූ ප්‍රබල මතය සමාජය තුළ තහවුරු කරන්න බැරිව ගියේ ඇයි? උතුර-නැගෙනහිර අතුරුදහන්කරවීම්වලට විරුද්ධව ප්‍රබල මතයක් ගොඩනැඟීමට නොහැකි වූයේ ඇයි?
කොටි මොන විදියකින් හරි ඉවර කරන්න ඕනෑ කියන මතය බරපතළ ලෙස රාජ්‍ය මාධ්‍ය විසින් රාජ්‍ය අනුග්‍රහය මත දකුණේ තහවුරු කළා. ඒ නිසා උතුර-නැගෙනහිර අතුරුදහන්කරවීම්වලට දකුණේ සමාජය අනුමැතියක් දුන්නා. ඒ විතරක් නෙවෙයි, 1989 දී මේ අපරාධවලට වගකිවයුත්තක් ලෙස චෝදනා  එල්ල වුණු රාජ්‍ය හමුදා උතුරුකරේදී රවිරුවෝ බවට පත් කළා. මානව හිමිකම් ගැන කතා කරන, ක්‍රියා කරන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ සම්බන්ධව මැදිහත්වන ක්‍රියාකාරීන් දේශද්‍රෝහීන්, රට පාවා දෙන්නන් බවට හංවඩු ගැසීමත් රජයට අමාරු වුණේ නැහැ.
තමන්ගේ ආණ්ඩුවක් බලයට පත්වීම, කොමිසම් පත්කර මරණ සහතික, වන්දි මුදල් ( සොච්චමක් වුවත් ) ලබාදීම ආදිය නිසා ඊට පෙර  අතුරුදහන් කරවීම්වලට  එරෙහි වූ ජන කොටස් ඒ ගැන තිබූ උනන්දුව අඩු කළා. හඳුනාගත් අපරාධකරුවන්ට දඬුවම් දීමත් මේ යුද්ධය නිසාම මඟහරින්න පහසු වුණා.
ඒ නිසාම අතීතයේ අපේ ප්‍රධාන මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ මහින්ද රාජපක්ෂ ජනාධිපත් පාලනය තුළ සිදුවූ අතුරුදහන්වීම් ගැන ජාතික මට්ටමේ, විශේෂයෙන් දකුණේ සාකච්ඡාවක් ගන්න බැරිව ගියා. උතුර-නැගෙනහිරදීත් එය අසාර්ථක වුණේ බිය වඅද්දීම් සහ හමුදා මැදිහක්වීම් සිදු වුණු නිසයි.
නමුත් රට තුළ මෙහෙම වුණාට පෙර කිසිදා සිදු නොවුණු ආකාරයට මෙම සාකච්ඡාව ජාත්‍යන්තරව ගොඩ නැඟුණා. ආණ්ඩුව මොන තරම් චණ්ඩි පාට් දැම්මත් LLRC කොමිසම, ඊයේ පෙරේදා පත්කළ ‘අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීමේ කොමිසම්‘ පත් කෙරෙන්නෙත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ලංකාවට පැමිණීම සඳහා ආරාධනා ලබන්නේත්, ඒ ජාත්‍යන්තර බළපෑම හින්දාමයි.
1988-89 සමයේ අතුරුදහන්කරවීම් ගැන හොයන්න වාර්ථා කරන්න එක්සත් ජාතීන්ගේ අතුරුදහන්කරවීම් පිළිබඳ ක්‍රියාකාරී කමිටුවට, ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් වැනි සංවිධානවලට ලංකාවට ඇවිත් ඒ ගැන සොයා බලන්න, වාර්ථා කරන්න එදා අවසර තිබුණත් අද වෙද්දී ඒ ඉඩකඩ නැහැ.
1989 අතුරුදහන්කරවීම් සම්බන්ධව රට තුළ ඇතිකළ භීතිය, 1992 විතර වෙද්දී අඩු වුණා. නැතුව ගියා කිව්වත් නිවැරදියි. නමුත් ටයර් සංස්කෘතිය අවසන් කරලා නැවත ඇති කළ සුදු වෑන් සංස්කාතිය, යුද්ධය ඉවර කරලා අවුරුදු 04 ක් ගත වුණත් තවම මිනිසුන් බිය වද්දනවා.
මානව හිමිකම් ක්‍රියාකාරීන් වන අපේ වගකීම, යුතුකම වන්නේ භේදයකින් තොරව සියළුම අතුරුදහන් කරවීම් සම්බන්ධව වගවීමක් ඉල්ලා සිටීමයි. ඒ වගකීමෙන් එදා පැවතුණු සහ අද පවතින ආණ්ඩුවල වගකිවයුත්තන්ට මඟහරින්න දෙන්න බැහැ. ඒ වගවීම ඉල්ලීම තුළ නැවත එය සිදුවීම වළක්වා ගැනීමත් අපේ ප්‍රධාන වගකීමක්.
පසුගිය සිදුවීම්වලට සාධාරණයක් ඉල්ලීම, ඉදිරියේදී නැවත එවැන්නක් සිදුවීම වළක්වාගැනීම, එදා ඒවාට ගොදුරු නොවුණු අපේ දරු පරම්පරාව බේරාගැනීම සඳහා ක්‍රියාකාරීත්වයක් වේවි.
අනෙකාට සිදුවන අකටයුත්ත තුළ ඇස් කන් පියාගෙන හිටපුවාම අපේ එකාට එයම සිද්වන්නේ කොයි මොහොතේද කියලා අපට කියන්න බැහැ. කටුනායක වෙළඳ කලාපය, හලාවත ධීවරයින්, වැලිවේරිය රතුපස්වල හමුදා මැදිහත්වීම් අපට කියාදෙන්නේ මේ රටේ අතුරුදහන්කරවීම්වලට ජාති,ආගම්,පක්ෂ,පාට,ගැහැණු,පිරිමි භේදයක් නැති බව නොවෙයිද?


-අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුව සහ සමබිම එළිදැක්වූ ප්‍රකාශනයේදී අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් (2013.08.23) සඳහන් කළ පෙරවදනයි.-

සුළු අවි මිනිසුන් මරා හෙළති

මං දැක්කා මිනිහෙක හිටගෙන ඉන්නවා මගෙ පුතාගෙ ඉදිරිපිට. මං ඒ දෙන්නා මැදට ගිහින් පුතාට කිව්වා “අපි ඇතුළට යමු කියලා. මම කියන්ඩ හදපු දේ ඉවර කරන්ඩ ඉඩක් ලැබුනේ නෑ. ඒ මිනිහා මගෙ උරහිසට උඩින් අත දික් කරලා පුතාගෙ පපුවට ගල් කටස් එකකින් වෙඩි තිබ්බා. පුතාට වෙඩි වදිනකොට මං එයාව අල්ලාගෙනයි හිටියෙ. ඒ නිසා අපි දෙන්නම බිම ඇද වැටුණා. මගෙ ලේලි බබාවත් අරගෙන කාරෙකෙන් එළියට පැන්නා. ඒ මිනිස්සු දෙන්නා කාරෙක එළවාගෙන පැනලා ගියා..... දුෂ්ට මිනිස්සුන්ට ආයුධ ලබාගන්න ඉඩකඩ තියෙනකොට ඕක තමයි වෙන්නෙ. 
-කේ.කරුණානායක- ශ්‍රී ලංකාවේ සන්නද්ධ අපරාධවලට ගොදුරු වූ පුද්ගලයෙකුගේ මවක්-

සුළු අවි මිනිසුන් මරා හෙළති. දශක ගණනාවක් පුරාම ලෝකය පුරාම මිනිසුන් දැවැන්ත පරිමාණයෙන් මරා දැමීම සඳහා සුළු අවි හා සැහැල්ලු ආයුධ යොදා ගනිමින් තිබේ. දකුණු ආසියාව තුළ  සුළු අවි හා සැහැල්ලු ආයුධ( small arms and light weapons )යොදාගෙන කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් විශාල සිවිල් වැසියන් සංඛාවක් මිය යති. නීති විරෝධී සුළු අවි භාවිතය ප්‍රමාණාත්මකව වැඩිවීම නිසා ශ්‍රී ලංකාව බරපතළ ලෙස පීඩා විඳිමින් සිටී. එය සමාජ සුරක්ෂිත බව හා ස්ථාවරත්වයට දැඩි බළපෑම් එල්ල කරයි. එය සංවර්ධනය යටින් බිඳ හෙළන අතර රටේ සාමයට මහත් බාධාවක්ව පවතී.
ශ්‍රී ලංකාව තුළ සුළු අවි භාවිතය ඉහළ යාම, අර්බුදයක් වී තිබේ. රට තුළට අවි ගලා ඒම, ලංකා රජය හා එල්.ටී.ටී.ඊ ය අතර පැවත් ගැටුම සමඟ බැඳී පවතී. කෙසේ වුවද  සුළු අවි භාවිතය හුදෙක්ම මෙම ගැටුමට පමණක්ම සීමා වන්නක් නොවේ. ප්‍රචණ්ඩ දේශපිලන සංස්කෘතියේ අංග ලක්ෂණයක් වූ සන්නද්ධ අපරාධ සඳහා යොදාගනු ලැබෙන හෙයින්, නීති විරෝධී සුළු අවි සඳහා දිනෙන් දින වර්ධනය වෙමින් පවතින වෙළඳපළක් නිර්මාණය වී තිබේ. දේශපාලනඥයින් ඔවුන්ගේ ධූර කාළය තුළ ආරක්ෂා කරගැනීමේ පියවරක් වශයෙන්, රජය එකී දේශපාලනඥයින් හා ඔවුන්ගේ ආරක්ෂක නිළධාරීන් සන්නද්ධ කරනු ලැබේ. එහෙත් මෙම දේශපාලනඥයින් පරාජයට පත් වූ විට ඔවුන් වෙතට නිකුත් කර තිබූ අවි ආපසු ලබා ගැනීමේ ක්‍රියාවළිය දුර්වලය.
දකුණු ආසියා සුළු අවි ජාලය-ශ්‍රී ලංකාව නම් සිවිල් සංවිධානය විසින් තම වාර්ෂික වාර්ථාව තුළදී, සුළු අවි ව්‍යාප්තියට එරෙහිව පසුගිය දශකය තුළ පැවැති සිවිල් සමාජ කතිකාවතෙහි සමාප්තිය ලෙස පැවැත්වූ ජාතික සමුළුව මඟින් ශ්‍රී ලංකා රජය, ජාතික කොමිසම හා සිවිල් සමාජය විසින් ක්‍රියාවට නැඟිය යුතු යැයි සැළකූ නිර්දේශ මාලාව මෙසේ දක්වයි. ඒ අතර පහත පියවරයන් වඩාත් වැදගත් විය.

  ව්‍යවස්ථා සංශෝධනයක් හා ව්‍යවස්ථා විවරණ මඟින්,
1.ශ්‍රී ලංකා ගිනි අවි පනත විවරණය හා සංශෝධනය
2.පාතාල ලෝකයේ අපරාධ ක්‍රියා හා ඒවාට දේශපාලන අනුග්‍රහය ලැබීම මැඬලීම සඳහා දැඩි නීති හඳුන්වා දීම

  සුළු අවි පිළිබඳව ප්‍රතිපත්ති සමුදායක් වර්ධනය කිරීම හා ඒවා සක්‍රීය කිරීම මඟින්
1.ඵලදායක සුළු අවි හා සැහැල්ලු ආයුධ සංචිත කළමණාකරණ හා වාර්ථා ගොනු කිරීමේ පද්ධතීන් හඳුන්වා දීම
2.පොලීසිය හා ආරක්ෂක හමුදා නිළධාරීන් විසින් අවි පරිහරණය වඩාත් දැඩි ලෙස පාලනයකට නතු කළ හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීම
3.දේශපාලනඥයින් හා ඔවුන්‍ගේ රැකවලුන් සතුව පවතින ගිනි අවි ගැන නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමේ රටාවක් ස්ථාපිත කිරීම.
4.ජාතික හා ජාත්‍යන්තර ක්ෂේත්‍රය තුළ කෙරෙන සුළු අවි වෙළඳාම පාලනය කිරීමේ ක්‍රම ශක්තිමත් කිරීම.
5.දේශපාලනඥයින්ට නිකුත් කොට ඇති ගිනි අවි රජයට ආපසු ගැනීම සහ දේශපාලනඥයින්ගේ ආරක්ෂාව සඳහා අවිගත් පුද්ගලික ආරක්ෂක භටයන් යොදාගැනීමට අවසර නොදීම.
6.සුළු අවි නීති විරෝධී ලෙස ව්‍යාප්ත විම සම්බන්ධයෙන් තොරතුරු සපයන පුද්ගලයන්ගේ අනන්‍යතාවය රහස්‍ය ලෙස රැකෙන පරිදි ක්‍රියාත්මක විය හැක් යාන්ත්‍රණයක් සැකසීම.
  
  පහත දක්වා ඇති ක්ෂේත්‍රයන්ද ආවරණය වන ආකාරයට පුළුල් ගවේෂණයක් කිරීම මඟින්
1.සුළු අවි ගැටළුව හා එහි මානුෂීය බළපෑම් අරභයා අධ්‍යයනය කිරීම
2.දේශපාලනඥයින්ද ඇතුළුව සිවිල් වැසියන්ට ගිනි අවි නිකුත් කිරීමේ තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදීම
3.නිකුත් කළ ගිනි අවි බලපත්‍ර සම්බන්ධව පරිගණක දත්ත ලේඛණයක් පවත්වාගෙන යාම

  ස්වාධීන ආයතන ව්‍යුහයක් වන පරිදි ජාතික කොමිසම ස්ථාපිත කිරීම සඳහා 
1.ජාතික කොමිසම පාර්ලිමේන්තුව තුළ සම්මත වන පනතක් මඟින් ස්ථාපනය
2.එය ගිනි අවි ව්‍යාප්තිය අධීක්ෂණය කිරීම හා පාලනයට නතු කිරීම සඳහා වන ප්‍රධාන අධිකාරී බල හිමි ආයතනය ලෙස කටයුතු කිරීම.
3.සුළු අවි පිළිබඳව ප්‍රතිපත්ති සැකසීමේදී හා ක්‍රියාවට නැඟීමේදී එය රජයේ උපදේශක ආයතනයක් ලෙස ක්‍රියා කිරීම

සුළු අවි පිළිබඳව වන ආරක්ෂණ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාව විශේෂ ප්‍රගතියක් අත්කරගෙන ඇතත් එය ප්‍රමාණවත් මට්ටමක නොවන වගද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.



ලිපිය සැකසීමේදී යොලන්ඩා ෆොස්ටර් සහ හෂිත අබේවර්ධනගේ සුළු අවි සහ සැහැල්ලු ආයුධ නම් වාර්තාව ආශ්‍රය කරගන්නා ලදී.

No comments:

Post a Comment